AD HERE

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිවුවැනි ස්ථානය නිෂාංගන්ට


ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිවුවැනි සාමාජිකයා බවට පත්වීමට නිෂාංගන් නඩරාජා සමත්ව තිබේ. තේරීම් තරගාවලියේ අවසන් අදියරේදී වට 2-1 ක් ලෙස (1/6, 6/2, 6/0) ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස්ද, වට 2-0 ක් ලෙස (6/2, 6/0) අවීන්ද්‍ර පෙරේරාද පරාජය කරමින් නඩරාජා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලබාගත්තේය.
තේරීම් තරගාවලියේ අවසන් අදියරේදී ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් සහ අවීන්ද්‍ර පෙරේරා අතර පැවැති තරගය වට 2-1 ක් ලෙස (6/3, 4/6, 6/1) ජයගැනීමට ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් සමත් විය. ඒ අනුව ඔහු ඬේවිස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා ලෙස නම් කෙරිණ.
කෙසේ වුවත් ගෙවී ගිය වසර කිහිපය තුළදී දිවයිනේ කිසිදු ටෙනිස් තරගාවලියක් සඳහා සහභාගි නොවූ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් තේරීම් තරගාවලියේ අවසන් වටයට කැඳවීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින් තේරීම් කමිටුවට චෝදනා එල්ල වී තිබිණ. ටෙනිස් තේරීම් කමිටුව එලෙස තේරීම් තරගාවලිය සඳහා කැඳවා තිබුණ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් ශ්‍රී ලංකාවේ උපත ලබා විදෙස් රටක වාසය කරන අයෙකි.
ඬේවිස් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සිවුදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවන අතර හර්ෂණ ගොඩමාන්න, ශාමල් දිසානායක සහ යසිත ද සිල්වා ඍජුවම කණ්ඩායමට කළින්ම ඇතුළත්ව සිටියහ.
පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළේ ක්‍රීඩකයා ලෙස කටයුතු කළ හර්ෂණ ගොඩමාන්න, මෙවරද කණ්ඩායමට කැඳවා ඇති අතර කැනඩාවේ වෙසෙන ඔහු ඬේවිස් කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් සමග පුහුණුවීම් වල නිරත වීම සඳහා ලබන සඳුඳා (19 වැනිදා) මෙරටට පැමිණීමට නියමිතය.
ඉකුත් වසරේ පැවැති ජාතික ටෙනිස් ශූරතාවලියේදී පිරිමි කේවල ශූරතාව දිනාගැනීමෙන් ශාමල් දිසානායකටද, ඉකුත් මැයි මස පැවැති එස්. එස්. සී. විවෘත ටෙනිස් තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා (පිරිමි කේවල, පිරිමි යුගල, සහ මිශ්‍ර යුගල) දිනාගැනීමෙන් යසිත ද සිල්වාටද කෙළින්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන දෙකක් වෙන්කර දීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.  
එලෙස ක්‍රීඩකයන් තිදෙනෙක්ම කණ්ඩායමට කෙළින්ම ඇතුළත් වෙද්දී කණ්ඩායමේ සිවුවැනි ක්‍රීඩකයා තොරා ගැනීම සඳහා තේරීම් තරගාවලියක් පැවැති අතර එම තේරීම් තරගාවලියට ක්‍රීඩකයන් 9 දෙනෙක් කැඳවා තිබිණ.
අදියර 3 කින් සමන්විත වූ එම තේරීම් තරගාවලියේ පළමු අදියර සඳහා ක්‍රීඩකයන් සිවුදෙනෙක්ද (දුමිදු දිලුම්, අනීෂ් වීරසිංහ, නෙනුක ජයතිලක සහ අවීන්ද්‍ර පෙරේරා), දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයන් තිදෙනෙක්ද (ප්‍රසන්න අතාවුද, මදූෂ විජේසූරිය, චෙස්කා රාකොටොන්ද්‍රම්බේ), තෙවැනි අදියර සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙක්ද (නිෂාංගන් නඩරාජා සහ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස්) නම් කර තිබිණ.
පළමු අදියරේදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගන්නා ක්‍රීඩකයා දෙවැනි අදියරටත්, දෙවැනි අදියරේදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගන්නා ක්‍රීඩකයා තෙවැනි අදියරටත් සුදුසුකම් ලබාගන්නා ලෙස තේරීම් තරගාවලියේ තරග අනු පිළිවෙල සකස් කොට තිබිණ. අනතුරුව තෙවැනි අදියරේදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගන්නා ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිවුවැනි සාමාජිකයා ලෙස නම් කිරීමටද තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි.
ඒ අනුව පළමු අදියරේදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගත් ක්‍රීඩකයා ලෙස අවීන්ද්‍ර පෙරේරා දෙවැනි අදියරට සුදුසුකම් ලබාගත් අතර දෙවැනි අදියරේදීද ඔහු වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගනිමින් තෙවැනි අදියර සඳහා සුදුසුකම් ලැබීය. තෙවැනි අදියරේදී නිෂාංගන් නඩරාජා සහ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් අවීන්ද්‍රට ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයාගේ ස්ථානයද අහිමිව ගියේය.
තොරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කණ්ඩායමේ සහායක පුහුණුකරු රෙනුක් විජේමන්න මහතා යටතේ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කර තිබෙන බවත්, මේ මස 19 වැනිදා සිට හර්ෂණ ගොඩමාන්නද එම පුහුණුවීම් සඳහා සහභාගි වන බවත් කණ්ඩායමේ කළමනාකරු උදිත් වික්‍රමසිංහ මහතා පැවසීය.