AD HERE

විද්‍යුත් ජාතික හැදුනුම්පත් ව්‍යාපෘතිය යටතේ පෙර මුද්‍රිත කාර්ඩ් පත් මිලදී ගැනීමට අදාළව මෙම අක්‍රමිකතාවක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රතිසම්පාදන නීති කඩකරමින් සිය හිතවත් ආයතන වෙත ටෙන්ඩර් ලබා දීම පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ.
විද්‍යුත් ජාතික හැදුනුම්පත් ව්‍යාපෘතිය යටතේ පෙර මුද්‍රිත කාර්ඩ් පත් මිලදී ගැනීමට අදාළව මෙම අක්‍රමිකතාව සිදුව ඇත. 2016 වසරේ ජුනි මස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් කාර්ඩ් පත් ලක්ෂ 10ක් මිලදී ගැනීමේ ටෙන්ඩරය සඳහා මිලගණන් කැඳවනු ලැබීය. මෙම ටෙන්ඩරයේ සපුරාලියයුතු ප්‍රධනම අවශ්‍යතාවක් වන ලංසු බැඳුම්කර 2016 දෙසැම්බර් 15 වැනි දිනෙන් අවසන්ව ඇත. ඒ අනුව ප්‍රතිසම්පාදන නිර්දේශයන්ට අනුව එතැන් පටන් ටෙන්ඩර්කරුවන්ගේ ලංසු අවලංගු විය යුතුය.
 
නමුත් නීතියට පිටින් යමින් මාස දෙකකුත් දින 15කට පසුව එක් ආයතනයකට එම ටෙන්ඩරය ලබා දීමට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා තිබේ. ඒ 2107 පෙබරවාරි 28 වැනි දිනය. ඉන් පසු දින එනම් මාර්තු මස 01 වැනි දින බැංකු බැඳුම්කර නොමැතිව පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව මඟින් මෙම ටෙන්ඩරය ප්‍රධානය කර ඇත. ඊට ප්‍රතිචාර ලෙස එම ආයතනය එදිනට දින තුනකට පසු තම බැංකුකරුගෙන් කළ ඉල්ලීමට අනුව බැංකුකරු විසින් 2017 මාර්තු මස 02 වැනිදා ලංසු බැදුම්කර ලබා ගෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට 2017 මාර්තු 06 වැනි දින ලබා දී තිබේ.
 
ඒ අනුව රාජ්‍ය ප්‍රතිසම්පාදන මාර්ග නිර්දේශ අංක 8.7.1 උල්ලංඝනය කරමින් නීති විරෝධීව එම ටෙන්ඩරය ලබා දී ඇත්තේ EPIC LANKA නමැති ආයතනයටයි.
 
මේ වන විට දැනගන්නට ඇති පරිදි එම පෙර මුද්‍රිත කාර්ඩ් පත් පරීක්ෂා කිරීම සඳහා අමත්‍යාංශ ලේකම්,සහකාර ලේකම්වරු දෙදෙනා සහ කොමසාරිස්වරයා විදෙස් ගතවීමට නියමිත අතර එම පරීක්ෂණයට කිසිදු දැනුමක්  නොමැති  හා ටෙන්ඩරය ලබා  දුන් ආයතනයට හිතවත් පිරිසක්ද  සහභාගී වන බව දැනගන්නට ඇත. මෙම සියලුම දෙනා විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය සඳහා මෙම ආයතනයට වසර ගණනාවක සිට සහය දුන් පිරිසක් බව තතු දන්නන්ට රහසක් නොවෙයි. ඒ අනුව  කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නොකර ඔවුන් විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය වසර 15 පමණ කාලයක්  සිදුකරගෙන ගොස්  තිබේ. උක්ත කොමසාරිස්වරයා මිට පෙර විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණ අංශයේ සහකාර කොමසාරිස් වරයා ලෙසද කටයුතු කර ඇත.
 
මෙම නීති විරෝධී ක්‍රියාව පිළිබඳ තොරතුරු අනාවරණ වීම ආරම්භ වූයේ මිට මාස කිහිපයකට පෙර අඩුම ලංසුවට වඩා රු මිලියන 40කට වැඩි මුදලකට මෙම ටෙන්ඩරය ලබා දීමේ සුදානමක් ඇතැයි පුවත් පළවීමත් සමඟය. එමෙන්ම මෙම ටෙන්ඩරය සඳහා රු.මිලියන 180ක් වෙන් කර තිබූ බවටද දැනගන්නට ඇති අතර අමාත්‍යාංශ නිලධාරීන් සියලු බලතල භාවිතා කරමින් හිතවත් ආයතන වෙත ටෙන්ඩර් ලබා දීම සිදු කර ඇත. මේ අන්දමට නීති විරෝධී ලෙස ටෙන්ඩර් පටිපාටිය සිදුවන්නේ නම් එය රාජ්‍ය ආයතන තුළ විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටළු මතුකරන්නකි.