AD HERE

ස්වාධීන රූපවාහිනි සේවයේ නව පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්

          

         






මෙරට ප්‍රථම රූපවාහිනි නාළිකාව වූ ස්වාධීන රූපවාහිනි සේවයේ 38 වන සංවත්සරයට සමගාමීව එහි නව පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (14) පෙරවරුවේ සිදු විය.
බත්තරමුල්ල, වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනි ප්‍රධාන කාර්යාල පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා එහිදී ඉතා උණුසුම් ලෙස පිළිගැනිණි.
ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ මහල් 05 කින් යුත් නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
දකුණු ආසියාවේ ප්‍රථම වර්ණ රූපවාහිනි සේවය වන ස්වාධීන රූපවාහිනියේ කෞතුක භාණ්ඩ ඇතුළත් කෞතුගාරය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
මාධ්‍ය ආයතනයේ බාහිර විකාශන රථය මෙන්ම නව මැදිරි සංකීර්ණය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
කෝට්ටේ සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ගයන්ත කරුණාතිලක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද ස්වාධීන රූපවාහිනි සේවයේ හිටපු සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ස්වාධීන රූපවාහිනි සේවයේ වැඩබලන සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.