AD HERE

“සාමය සඳහා වූ ශ්‍රී ලාංකික අරගලය සහ එහි පාඩම්” සමුළුවේ ප්‍රධාන ආරාධිකයා සහ ප්‍රමුඛ දේශකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් අද සවස සහභාගී විය.

හිටපු ජනාධිපතිතුමාගේ සිව් දින පාකිස්ථාන සංචාරයට සමගාමීව ඉස්ලමාබාත් සෙරේනා හෝටලයේ, පාකිස්ථානයේ ආරක්‍ෂික අධ්‍යාපන සහ පර්යේෂණ (RSS) ආයතනය විසින් සංවිධානය කොට තිබු “සාමය සඳහා වූ ශ්‍රී ලාංකික අරගලය සහ එහි පාඩම්” සමුළුවේ ප්‍රධාන ආරාධිකයා සහ ප්‍රමුඛ දේශකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් අද සවස සහභාගී විය. අතුරු සිදුරු නැතිව පිරි ඉතිරි ගොස් තිබු ශාලාවේ, පසුගිය වසර තිහක කාලයේ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස්වරුන් ලෙස සේවය කල සියලුම තානාපති නිලධාරීන්ද, විදේශ අමාත්‍යාංශ ලේකම්වරුන්, ඉහළ හමුදා නිලධාරීන්, විශ්වවිද්‍යාල කථිකාචාරින් සහ මාධ්‍ය ප්‍රධානින් මෙහිදී කැපී පෙනුණි.

ලොව බිහිසුණු ත්‍රස්තවාදින් ලෙස LTTE ය පරාජය කිරීමේදී හමුදාවන් සතුව තිබු දැඩි අධිෂ්ඨානය ගැන සේනාධිනායකයා ලෙස තමා ආඩම්බර වන බවද, ශ්‍රී ලංකාවේ ජනතාව ඒ වෙනුවෙන් කල කැපකිරීම් සදා අගයන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පකිස්ථානය, චීනය සහ ඉන්දියාව ප්‍රමුඛ රාජ්‍යන් ඒ සඳහා කල මෙහෙවර අගයමිනි. කොල්ලුපිටියේ LTTE මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දිවි ගලවාගත් හිටපු මහකොමසාරිස් විසින් රාජපක්ෂ ජනධිපතිවරයා එවකට ශ්‍රී ලංකාවට ලබා දුන් නිර්භීත නායකත්වය අගය කිරීම මෙහිදී විශේෂ සිදුවීමකි.
බටහිර ජාතීන් ආසියාවේ අප වැනි රාජ්‍යයන්ට මානව හිමිකම් පිළිබඳ පාඩම් උගැන්වීමට එන්නේ අනතුරුව ඔහුන් ළග නොසිටි මොහොතේ බව පෙන්වා දුන් මහින්ද ජනාධිපතිවරයා, සර්පයා දෂ්ඨ කරන විට “මානව අයිතීන් කඩා හෝ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අප පසුබට නොවන බවට” ඔහුන්ගේ තනුව දැන් වෙනස් කර ඇති අයුරු පැහැදිලි කළේය. සභාවේන් මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, එවකට දිවි පරදුවට තබා දේශය රැකගත් හමුදා ප්‍රජාවට ඩයස්පෝරාවේ සහ බටහිර බලපෑම් හමුවේ වර්තමාන පාලකයන් විසින් කරනු ලබන කෙනෙහිලිකම් පිළිකුලින් යුතුව බැහැර කළේය.
“ත්‍රස්‌තවාදියාට තෙරෙන භාෂාවෙන් උත්තර දිය යුතුයි. හොඳ ත්‍රස්‌තවාදියා නරක ත්‍රස්‌තවාදියා කියා බෙදන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදයේ පරම සතුරා ත්‍රස්‌තවාදය බව මොහොතකට හෝ අමතක කරන්න එපා....” යනුවෙන් බටහිර මාධ්‍ය ආයතනයක් නියෝජනය කල මාධ්‍යවේදියකුට පාඩමක් කියා දීමට ද ජනධිපතිවරයා අමතක නොකළේය. මෙම සමුළුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් එක්වී සිටියේය.