AD HERE

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහනුවර ව්‍යාපෘතියෙන් ජාතික උරුම සංරක්ෂණ වැඩසටහන් රැසක්

ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් විශේෂඥ සහ තාක්ෂණික සහය ලබාගනිමින් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු ප්‍රමිතිගත කිරීමටත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පරිපාලන කටයුතු විධිමත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අවශ්‍ය මග පෙන්වීම සිදු කරනු ලබනවා. ඒ හරහා මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල සතු ආදායම් වැඩි කිරීමට හැකි වී ඇති අතර එම අරමුදල් යොදවා හඳුනාගත් ජාතික උරුම සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමටත් පෞරාණික උරුමයක් සහිත වෙහෙර විහාර සහ සිද්ධස්ථානවල සංරක්ෂණ හා නඩත්තු කටයුතු සිදු කිරීමටත් මේ වන විට සිදු කෙරෙමින් පවතින සංරක්ෂණ කටයුතු කාර්යක්ෂම කිරීමටත් හැකි වී තිබෙනවා.

දිවයින පුරා ස්ථාන රැසක ජාතික උරුම ස්ථානයන්හි සංරක්ෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කරමින් සිටින අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුල්‍ය ප්‍රතිපාදන මගින් මහනුවර ව්‍යාපෘතියට අයත් කලාපය තුළ පිහිටි බිතුසිතුවම් සංරක්‍ෂණ කටයුතු කිහිපයක් ද ඒ අතර වෙනවා.

නුගවෙල මාලගම්මන රජමහා විහාරයේ සංරක්ෂණ කටයුතු

නුගවෙල මාලගම්මන රජමහා විහාරයේ සංරක්ෂණ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර කුරුණෑගල රාජධානි සමයට අයත් මෙම විහාර මන්දිරය පළමුව නිර්මාණය කර ඇත්තේ ටැම්පිට විහාරයක් ලෙසයි. පසුකාලීනව එම ටැම් සියල්ල ආවරණය කොට ආලින්දයක් සහිත කුටීර දෙකකින් සමන්විතව පිළිමයක් සහිත විහාර මන්දිරයක් හා සැතපෙන පිළිමයක් සහිත විහාර මන්දිරයක් ලෙසට නවීකරණය කර ඇත. මෙම විහාර මන්දිරයේ නිරූපනය වන බිතුසිතුවම් ගම්පොල හා මහනුවර යුගවලට අයත් විය හැකි බවට අනුමාන කරයි. මෙහි බිතු සිතුවම් විනාශ වී තිබූ අතර විශේෂයෙන් බදාම සහ වර්ණ ස්ථරවලට හානි සිදු වී තිබිණ. ඒ අනුව අදාළ සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එහිදී සම්මත ක‍්‍රමවේදයන්ට අනුව සුදුසු වර්ණ ප‍්‍රතිනිර්මාණ ක‍්‍රමයක් අනුව එම කටයුතු සිදු කෙරේ.


කඩිගමුව නාගවනාරාම රජමහා විහාරය
කඩිගමුව නාගවනාරාම රජමහා විහාරය රඹුක්කන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාහයේ කඩිගමුව ග‍්‍රාමයේ පිහිටා ඇති අතර මෙම විහාර පරිශ්‍රයේ පැරණි ටැම්පිට විහාර දෙකක් වේ. මෙහි ඇති අංක 02 ටැම්පිට විහාරයේ බිතුසිතුවම් මහනුවර යුගයේ මුල් කාලයට අයත් වන අතර විහාර මන්දිරයේ ඇති දැව කැටයම් ගම්පොළ යුගය නියෝජනය කරයි.
සංරක්‍ෂණ ක‍්‍රියාවලිය තුළ දී හානි සිදු වී තිබූ බදාම ස්ථර සවිගැන්විම සිදු කර ඇති අතර සිතුවම් කොටස්වල දෘෂ්‍යමය ඒකීයභාවය ගොඩ නැංවීම සිදුකර ඇත. එසේම විහාර මන්දිරයේ ඇති හිඳි බුද්ධ ප‍්‍රතිමාවේ පිපිරුණු හා කැඩුණු කොටස් පෙර අවස්ථාවකදී ඉතාම අවිධිමත් ලෙස සිමෙන්ති මිශ‍්‍ර හුණු බදාමයෙන් ප‍්‍රතිසංස්කරණය කොට තිබූ බැවින් එම අවිධිමත් බදාම කොටස් සියල්ල ඉවත් කොට, පිලිමයේ ප‍්‍රතිනිර්මාණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද උපදෙස් පරිදි සම්මත ක‍්‍රමවේදයන්ට අනුව සිදු කෙරෙමින් පවතී.
හිඳගල රජමහා විහාරයේ බුද්ධ ප‍්‍රතිමාව සංරක්‍ෂණය
හිඳගල ලෙන් විහාරය ගම්පොළ යුගයේ නිර්මාණය කොට ඇති අතර විහාර අභ්‍යන්තරයේ පිහිටුවා ඇති හිටි බුද්ධ ප‍්‍රතිමාව සම්පූර්ණ දැව ආධාරකයකින් සමන්විතව සකස් කර ඇත. එම දැව කොටස් බොහෝමයක් වේයන් විසින් කා දැමීම නිසා ප‍්‍රතිමාවේ සමබරතාවය ගිලිහී ගොස්2016 අගෝස්තු මාසයේදී වැසි ජලය ගලා ඒමත් සමග කඩා වැටී තිබිණ. එහිදී මෙම ප‍්‍රතිමාවේ උරහිසින් පහළ බදාම හා දැව කොටස් බොහෝමයක්ම ඉවත් වී ඇති අතර උරස් කොටසේ ඇති බදාම හා වර්ණ ස්ථර කොටස් ද ආධාරකය හා බන්ධනයෙන් ඈත් වී ඇත.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කෙරෙන මෙහි සංරක්‍ෂණ ක‍්‍රියාවලිය යටතේ දිරාපත් වූ දැව ආධාරකය වෙනුවට සුදුසු දැව කඳක් යොදා ප‍්‍රතිමාවේ කඩා වැටුණු කොටස් ඒකරාශී කොට බදාම හා වර්ණ සවි ගැන්වීමේ කටයුතු මේ වන විට සිදු කෙරමින් පවතින අතර පිළිමය නිසි ලෙස අදාළ ස්ථානයේ ස්ථාපිත කිරීමෙන් පසු මතුපිට සිවුරු රැළි හා වර්ණ ප‍්‍රතිනිර්මාණ කටයුතු සිදු කිරීමට නියමිතය.

රුහුණු කතරගම මහා දේවාලයේ පල්ලැක්කිය සංරක්‍ෂණය

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැරේ 1990 දශකය දක්වාම දේවාභරණ වඩම්මවන ලද පල්ලැක්කියේ දිරාපත්වූ දැව කොටස් රෙසීන මිශ‍්‍ර දැව කුඩුවලින් පිරවිම හා දෘෂ්‍යමය ඒකීයභාවය සඳහා වර්ණ ප‍්‍රතිනිර්මාණ වර්ණිත කොටස් සංරක්‍ෂණය කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහනුවර රසායනාගාරයේ දී මේ වන විට සිදු කෙරෙමින් පවතී.