AD HERE

රාජපක්ෂලා හොරකම් කළ රු. කෝටි 500 ක් රාජසන්තකයි, දැන් ඉතින් බඩ කපා ගන්න මංගල කියයි

රාජපක්ෂ සමයේ දූෂණ විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් දැනට පවත්නා පරීක්ෂණවලින් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් හා ලඟම ඥාතීන්ට අයත් නීති විරෝධී ලෙස උපයා ගත් රුපියල් කෝටි 500කට අධික වටිනා (ඩොලර් මිලියන 30) දේපළ අධිකරණයේ හා රජයේ භාරයට ගෙන තිබේ.

තමන්ගේ හෝ තම පවුලේ කිසිවෙකුත් රුපියලක් හෝ සොරකම් කර තිබේ නම් තමන් බඩ කපා ගන්නවායැයි වහසි බස් දෙඩූ මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ එම පොරොන්දුව හිතාමතාම අමතක කර තිබීම හාස්‍ය ජනකයි.
නැව් නැති හම්බන්තොට වරායෙන් පාඩු පිට පාඩු ලබන අතරතුර ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වාර්ෂිකව ගෙවනු ලබන රුපියල් මිලියන 9,000ක ණය ප්‍රමාණය 2019 වසර වන විට රුපියල් මිලියන 17,360 දක්වා වැඩි වනු ඇත. මෙයට අමතරව ස්වෛරී බැඳුම්කර හරහා පසුගිය රජය විසින් ලබා ගත් විවිධ ණය එකවර ගෙවීම 2019 වසර වන විට කල් පිරෙන බැවින් ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවීම වන ඇමරිකාණු ඩොලර් මිලියන 4,200ක් 2019 වසර වන විට ගෙවීමට සිදු වේ.
කිසිදු ආර්ථික සැලසුමකින් තොරව මහින්ද රාජපක්ෂ රජය විසින් ලබාගත් ණය, මනා ලෙස කළමනාකරණය කොට ජනතාවට බරක් නොවන අයුරින් ගෙවීමට පහසුවන පරිදි සකස් කර, විදේශ ආයෝජන රටට ගෙනවිත් රැකියා දස ලක්ෂයක් දීමේ නව වැඩපිළිවෙළක් ද අපි රජයක් ලෙස මෙම වසරේ මුල දියත් කරන ලදි.
එහෙත් තම පාලන කාලය තුළ රට සංවර්ධනය කිරීමට නොහැකි වීම හේතුවෙන් තමන්ව ප්‍රතික්ෂේප කළ ජනතාවගෙන් පලිගැනීමේ චේතනාවෙන් මෙම රජය මඟින් රට සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ප්‍රගතිශීලී පියවරයන් කඩාකප්පල් කිරීමේ නීච ක්‍රියාවක යෙදී සිටින්නේ ඇයි දැයි ජනතාවට තේරුම් ගත හැකිය. 
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද ගොතන ලද මුසාවන් පතුරවන අතරතුර රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කරනවා, විදේශිකයන්ට රාජ්‍ය සම්පත් විකුණනවායැයි මුසා පතුරවමින් ජනතාව උසිගැන්වීමේ පන්සල් දේශපාලනයේ නිරත වෙමින් මහින්ද රාජපක්ෂ මහතා රටටත් ජනතාවටත් විශාල ද්‍රෝහිකමක් කරමින් සිටින බව පැහැදිලිය.
කෙසේ නමුත් රාජපක්ෂ මහතා සිය පාලන කාලය තුළ සිදුකළ වංචා, දූෂණ සහ බරපතළ අපරාධ වසා ගැනීමේ කඩතුරාවක් ලෙස හුදු ආණ්ඩු විරෝධයක් පෙන්වමින් සිදුකරන ප්‍රෝඩාකාරී මාධ්‍ය සංදර්ශන මේ රටේ බුද්ධිමත් ජනතාව කිසිසේත් අනුමත නොකරනවා ඇත.