AD HERE

පදනම් විරහිතව මංගලගේ ලේකම් ගැන පලවූ ප්‍රචාරයන්ට අමාත්‍යාංශයෙන් පිළිතුරු

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි ඇතැම් මාධ්‍යවල පළවී ඇති වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මේ එම නිවේදනයේ ඇතුලත් කරුණුයි.
මංගල සමරවීර අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු සහ ඔහුගේ මිතුරන් තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (05) රාත්‍රී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසියට බාරදීමේ සිද්ධිය පාදක කර ගනිමින් අමාත්‍යවරයාට එරෙහිව ඇතැම් අන්තර්ජාල මාධ්‍ය විසින් ‘මඩ’ මෙහෙයුමක් ආරම්භ කර ඇති බැවින් සිද්ධියට අදාළ කරුණු කෙටියෙන් පැහැදිලි කරමින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරමි.
අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරි සමීර මනහර මහතා පෙරේදා (05) රාත්‍රී ඔහුගේ මිතුරන් තිදෙනකු සමඟ රාත්‍රී සාදයක් සඳහා යමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පිරිසක් විසින් රාත්‍රී 8.45ට පමණ ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි සිටි අයකු සතු එම ජීප් රථය පොලිස් නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේදී එහි තිබී මත්ද්‍රව්‍ය හසුවීම හේතුවෙනි. එම ජීප් රථය එහි සිටි අයකු සතු වූවකි.
රථයේ සිටි අයකු එය තමන්ගේ බව පිළිගෙන ඇති අතර අනතුරුව විශේෂ කාර්ය බළකා නිලධාරින් අදාළ සැකකරුගේ නිවසට ගොස් මත්පැන් බෝතල් 16ක් ද සිගරට් කාටුන් තුනක් ද ප්‍රදර්ශන කඩුවක් හා නිවසේ භාවිතයට යොදා ගත් මන්නයක්ද අත්අඩංගුවට ගෙන මෙම පිරිස ඊයේ (06) උදෑසන ගල්කිස්ස පොලිසියට බාරදී ඇත.
අත්අඩංගුවට ගෙන සිටි සිව්දෙනාම ඊයේ පස්වරුවේ දී ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ ගල්කිස්ස පොලිසිය, මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පළමු සැකකරු හැර අනෙක් තිදෙනා ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නැති බවත්, එම තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පළමු සැකකරු ගමන් ගත් රථයේ සිටි නිසා බවත් ‘බී’ වාර්තාවක් ගොනු කරමින් දන්වා සිටියේය.
මහේස්ත්‍රාත්වරයා හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ ගල්කිස්ස පොලිසියේ පොලිස් පරීක්ෂකවරයා, පළමු සැකකරු හැර අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනාට එරෙහිව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා ඉදිරිපත් නොකරන බවත්, ඔවුන් තිදෙනාට ඇප ලබාදීමට විරෝධතාවයක් නැති බවත් දන්වා සිටියේය.
එම කරුණු සලකා බලමින් පළමු සැකකරු රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා, අත්අඩංගුවට ගෙන සිටි සමීර මනහර මහතා ඇතුළු තිදෙනා ඇප මත මුදාහරිනු ලැබීය.
ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරියාට එරෙහිව ඇතැම් අන්තර්ජාල මාධ්‍ය හරහා වාර්තා කර ඇති කරුණු පදනම් විරහිත බව සනාථ වේ. යනුවෙන්ද එහි දැක්වේ.