AD HERE

සිල් රෙදි නඩුවේ වරදකරුවන් වූ ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට කොළඹ මහාධිකරණයෙන් වසර තුන සිරදඩුවම් නියම කරයි


සිල් රෙදි නඩුවේ වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණය අද දඩුවම් නියම කළා.
ඒ අනුව දෙදෙනාටම වසර තුන බැගින් සිර දඩුවම් නියම කෙරුණා.
ඊට අමතරව රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ දඩ මුදල් ද නියම කළ මහාධිකරණය, සිදුවූ පාඩුව වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමට රුපියල් මිලියන 50 බැගින් තවත් රුපියල් මිලියන 100ක් ගෙවන ලෙස දැනුම් දුන්නා.
එක් අයෙකු රුපියල් මිලියන 50ක අදාල කොටස නොගෙවන්නේ නම් සිර දඩුවම තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට  නියෝග කරන බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතා සඳහන් කළේ.
දඩ මුදල් ලෙස නියම කළ රුපියල් ලක්ෂ 20 නොගෙවන්නේ නම් එක් වරදකරුවෙකුට තවත් මාස 6කින් සිරදඩුවම් දීර්ඝ කරන බව ද මහාධිකරණය දැනුම් දුන්නා.
එවකට ජනාධිපති ලේකම්වරයා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි අනුෂ පැල්පිට මහතා මෙම සිල් රෙදි නඩුවට චෝදනා ලබා සිටියා.
රුපියල් මිලියන 600ක මුදලක් සිල් රෙදි සඳහා භාවිත කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල්වලින් බව  අධිකරණයේදී අනාවරණ වුණා.
ඒ අනුව සියලු චෝදනා සඳහා වරදකරුවන් වූ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්ට මීට පෙර අධිචෝදනා පත්‍ර භාරදී තිබුණා.
රුපියල් මිලියන 600ක මහජන මුදල් අවභාවිත කළ බවට මෙම නඩුව ගොනු කර තිබුණේ නීතිපතිවරයා විසින්.


ලලිත් වීරතුංග සහ  අනුෂ පැල්පිට වරදකරුවන් කරයි [09/07/2017]
පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි තොගයක් රට පුරා බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ ලලිත් වීරතුංග මහතා හා එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අනූෂ පැල්පිට යන මහත්වරුන් වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණය මීට සුළු මොහොතකට පෙර තීන්දු කළා.
මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ලලිත් වීරතුංග මහතා සහ අනූෂ පැල්පිට මහතා සියලු චෝදනාවලට වරදකරුවන් බවයි.
ඒ අනුව දඩුවම් නියම කිරීම තව සුළු මොහොතකින් ප්‍රකාශයට පත් කරන බව පවසමින් අධිකරණ කටයුතු විනාඩි පහකට කල් තබනු ලැබුවා.