AD HERE

අපි ආවේ අයිස්ක්‍රීම් විකුණන්න නෙමෙයි. ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති තීන්දු තීරණ ගන්නයි - අධ්‍යාපන අමාත්‍යවරයා කියයි.

මාරුවීම් වලට එරෙහිව දරුවන් උසිගන්වන ගුරුවරුන්ට එරෙහිව දැඩි පියවර ගන්නවා.


ඇතැමෙකුට නොරිස්සන නමුත් පොදු සුබ සිද්ධිය වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීම තම වගකීම සේ සලකන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.සියලු දෙනා සනසමින් අයිස්ක්‍රීම් ලබාදෙන්නා සේ කටයුතු කිරීමේ හැකියාවක් අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදනයේ නොමැති බව අවධාරණය කල අමාත්‍යවරයා අධ්‍යාපන පද්ධතියේ උන්නතිය වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගැනීමට කැපවන බව අවධාරණය කලා. 

ඒ කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ පැවති ආසියානු ළමා චිත්‍ර තරඟයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සහතිකපත් ලබාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

මෙහිදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිදුකර ඇති ජාතික පාසල්වල ගුරුවරුන් මාරු කිරීමේ වැඩසටහන පිළිබඳව ද අධ්‍යපන අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. වෘත්තිය සමිති ගුරු සංගම් ඇතුඑ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වය ලබාගනිමින් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවී තිබූ ගුරුමාරු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා තමා නායකත්වය ලබාදුන් බව සිහිපත් කල අධ්‍යාපන අමාත්‍යවරයා, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නොබියව කටයුතු කරන බව ද අවධාරණය කලා.නමුත් ඇතැම් ගුරුවරුන් පාසල් දරුවන් ද උසිගන්වමින් මාරුවීම් වලට එරෙහිව කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා එවැනි ගුරුවරුන්ට එරෙහිව අමාත්‍යාංශ මට්ටමින් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අවධාරණය කලා.

සියලු දරුවන්ට සමාන අධ්‍යාපන අයිතීන් ලබාදීම මෙන්ම ගුරුවරුන්ට දෙස් විදෙස් පුහුණු අවස්ථා ලබාදෙමින් මානව සම්පත ශක්තිමත් කිරීම ඇතුඑ අරමුණු වෙනුවෙන් තමන් නිරන්තරයෙන්ම පෙනී සිටින බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේ දී , පවතින ප්‍රතිපත්තීන්ට අනුකූලව වසර පහෙන් පහට ගුරුමාරු යාන්ත්‍රණය සකස් කරන බව ද සඳහන් කලා.  

විඩියෝව පහළින්