AD HERE

අද ලෝක සාමයට තර්ජනයක් වී ඇති බොහෝ ගැටලු, බොහෝ ප්‍රශ්න විසඳීමට බෞද්ධ දර්ශනය තුළින් විසඳුම් පෙන්වා දී ඇත-ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා


ද ලෝක සාමයට තර්ජනයක් වී ඇති බොහෝ ගැටලු, බොහෝ ප්‍රශ්න විසඳීමට බෞද්ධ දර්ශනය තුළින් විසඳුම් පෙන්වා දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (2) ප්‍රකාශ කළේය.
විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් කොතෙක් දියුණුව ලැබුවත් බෞද්ධ දර්ශනය තුළ බුදුන් වහන්සේ දේශනා කළ බොහෝ දේවල් තවමත් පැහැදිලි කිරීමට, හඳුන්වාදීමට නව තාක්ෂණික ලෝකයට පුළුවන්කමක් ශක්තියක් ලැබි නැති බැවින් බුදු දහම ලෝකය තුළ තව තවත් ප්‍රචාරය විය යුතුව තිබෙන්නේ යැයි ද ජනපති කීය. 
හත්වැනි ලෝක බෞද්ධ සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වෙමින් ජනපති එම කරුණු පැවැසීය.
“ අපි ඉතිහාසයේ එක් එක් යුග තුළ අපේ බෞද්ධාගමික පරිසරය, ඒ වගේම බෞද්ධ දර්ශනය තුළින් ගොඩනැගුණු ප්‍රබුද්ධ සමාජය පිළිබඳව සතුටු වෙනවා. අදත් ලෝකය පුරා ප්‍රචලිතව පවතින්නේ බුදුන් වහන්සේ වසර 2600 කට පෙර දේශනා කළ ධර්මය තුළ යහපත් සමාජයකට උතුම් වූ මගපෙන්වන ඉතාමත් ශ්‍රේෂ්ඨ වූ ගමන් මාර්ගයක් විදියටයි. අද භෞතික වශයෙන් ලෝකය විශාල දියුණුවක් ලබා තිබෙනවා. තාක්ෂණික වශයෙන් ඉහළම දියුණුවක් ලෝකයේ තිබෙනවා. එහෙත් තාක්ෂණික දියුණුව සහ භෞතික දියුණුව තුළ මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති නොවන නිසා  සමාජය තුළ බොහෝ පිරිහීම් තිබෙන බව අපි දන්නවා සහ දකිනවා.   
අද මුළු ලෝකය පුරා පවතින කාලගුණික, දේශගුණික විපර්යාස, ගෝලීය උණුසුම සමග ඇති වී තිබෙන ස්වභාවධර්මයාගේ වෙනස්කම් ඒ තුළ මිනිසුන්ට, මානව සමාජයට, මෙන්ම සියලු සත්ත්වයාටත්, ගහ කොළ, ඇළ දොළ ස්වාභාවික සම්පත්වලටත් අත්විඳින්නට සිදුවී ඇති බරපතල හිරිහැර, තර්ජන, ව්‍යවසන පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ මීට වසර 2600 කට පෙරයි. අපට විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් කොතෙක් දියුණුව ලැබුවත් බෞද්ධ දර්ශනය තුළ බුදුන් වහන්සේ දේශනා කළ බොහෝ දේවල් තවමත් පැහැදිලි කිරීමට, හඳුන්වාදීමට නව තාක්ෂණික ලෝකයට පුළුවන්කමක් ශක්තියක් ලැබිලා නැහැ. ඒ නිසා බුදු දහම ලෝකය තුළ තව තවත් ප්‍රචාරය විය යුතුව තිබෙනවා‘‘ යැයි ද ජනපති කියා සිටියේය.