AD HERE

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබන මාර්තු 08 වැනිදා හෝ ඊට පෙර අධිකරණයේ පෙනී සිටීමට නොතිසියක්

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේ
න්ද්‍රන් මහතාට ලබන මාර්තු 08 වැනිදා හෝ ඊට පෙර අධිකරණයේ පෙනී සිටීමට නොතිසියක් නිකුත් කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය බැඳුම්කර වංචාව සම්බන්ධ නඩුව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 02 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (16) නියෝග කළාය.
මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළේ ඇප ලබා දීමට විරුද්ධව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ ලිඛිත දේශන සහ විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ ලිඛිත දේශන සලකා බැලීමෙන් අනතුරුවය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට නිකුත් කරන නොතිසිය ශීඝ්‍රගාමී තැපැල් මගින් සහ කුරියර් සේවය හරහා නිකුත් කිරීමට ද නොතිසියක් නිකුත් කිරීමට අදාළ ප්‍රතිපාදනවලට අනුව නොතිසිය යොමු කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
රක්ෂිත භාරයේ පසුවන සැකකරුවන් දෙදෙනාට ඇප දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවන බැවින් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය එමෙන්ම බන්ධනාගාරයේ සිටිය දී සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට අද (17) සිට මාර්තු පළමුවැනි දා දක්වා අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා සිදු කළ ඉල්ලීමට ද අවසර ලබා දුන්නාය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අදාළ නොතිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ලබා දීමට නොහැකි වී ඇති බවත්, ඒ මහතා සිංගප්පූරුවේ ඔහුගේ ලිපිනයේ සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් අධිකරණයට කියා සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඒ මහතාගේ දුරකතනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතුම් ලබා ගෙන ඇතත්, එහි ග්‍රාහකයා සම්බන්ධ කරගත නොහැකි බවට පණිවිඩයක් නිකුත් වන බවත් අධිකරණයට දන්වා සිටියේය.
එමෙන්ම මේ වන විටත් අධිකරණ නියෝගවලට අනුව මහ බැංකුවේ රඳවා ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් බිලියන 9.197ක මුදල සහ බිලයන 1.19ක මුදල්වලින් නැවතත් ආයෝජනය කර ලබන මුදල් තවත් ගිණුමකට බැර වන බැවින් එම ගිණුමට බැරවන මුදල් අධිකරණ නියෝගයකින් තොරව වෙනත් පාර්ශ්වයකට පැවැරීම තහනම් කරමින් මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළාය.
මේ මුදල් රඳවා තබා ඇති බවටත් එමෙන්ම එම මුදල නැවත අයෝජනය කරමින් මුදල් එකතු කරමින් සිටින බවටත් අධිකරණයට දන්වා සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා මේ මුදල් රඳවා තිබෙන ලෙසට කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය නිකුත් කළාය.
එමෙන්ම බැඳුම්කර ගනුදෙනුවෙන් ලැබුණු මුදල් පෑන් ඒෂියා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව සහ ඩීඑෆ්සීසී වර්ධන බැංකුව මගින් සිදු කර ඇති ගනුදෙනු සම්බන්ධයෙන් විස්තර අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට ලබා දෙන ලෙස එම බැංකුවල සාමාන්‍යාධිකාරිවරුන්ට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළේ මේ ගිණුම්වලින් මේ ගනුදෙනුවලට අධාර ලබා දුන් පුද්ගලයන් හට යම් යම් ප්‍රතිලාභ ලබා දී ඇති බවට ලබා ගත් දුරකතන සංවාද තහවුරු කර ඇති බවට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා සිදු කළ දැනුම් දීමකින් අනතුරුවය.
එමෙන්ම බැඳුම්කර මගින් උපයා ගත් මුදල් වෙනත් සෙලාන් බැංකු ගිණුමක තැන්පත් කර විවිධ සමාගම්වලට යොමු කර ඇති බවට විමර්ශන තහවුරු කර ඇති බවටත් අර්ජුන් ඇලෝසියස් මහතාට සහ ජෙෆ්රි ඇලොසියස් මහතාට අයත් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමට අවස්ථා 66ක දී මුදල් බිලියන 1.19ක් බැර කර නැවතත් අවස්ථා 154 දී එම මුදල් මුදා හැරගෙන ඇති බවත් අධිකරණයට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා දැනුම් දුන් අතර, මේ වන විට එම ගිණුමේ ශේෂය 0 ලෙස සටහන්ව ඇති බවටත් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවටත් දැනුම් දුන්නේය. අර්ජුන් මහේන්ද්‍රන් මහතා හිටපු මහ බැංකු අධිපතිවරයා ලෙස මේ සිද්ධියට වගකිව යුතු බවටත් රජය වෙනුවෙන් මහ බැංකු සුරැකුම්පත් නිකුත් කරනු ලබන්නේ මහ බැංකු අධිපතිවරයා බවට මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලබා දී ඇති සාක්ෂි මගින් තහවුරු වන බවටත් කියා සිටි මහේස්ත්‍රාත්වරිය හිටපු මහ බැංකු අධිපතිවරයා වෙත මහ බංකු බැඳුම්කර භාරය පැවරී ඇති බවට සාක්ෂි සහ විමර්ශන නිගමනය කර ඇති බවත්, එම රාජ්‍ය මුදල් ආරක්ෂා කිරීමේ වගකීම ඔහු වෙත පැවැරෙන බවත් කියා සිටියේය.
විචක්ෂණශීලීව අවම පිරිවැයක් රාජ්‍ය මුදල් ආරක්ෂා කිරීමේ වගකීම හිටපු මහ බැංකු අධිපතිවරයා කඩ කර ඇති බවත් රුපියල් බිලියන 1ක් ලෙස හැඳින් වූ බැඳුම්කර ගනුදෙනුව රජයට මාර්ග සංවර්ධනයට මුදල් අවශ්‍යතාවක් ඇති බව කියමින් බිලියන 10.8ක් දක්වා බැඳුම්කර විකිණීමේ දී පොලිසිය 11.7ක් දක්වා ඉහළ දමා රජයට මිලියන 688ක් පාඩු කර ඇති බවත් මේ බැඳුම්කර ගනුදෙනුව සිදු කර ඇත්තේ රජයට මුදල් අවශ්‍ය අවස්ථාවක නොවන බවටත් විමර්ශන අනාවරණය වන බවත් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේය.
වළකා ගත හැකිව තිබූ පාඩුවක් සිදු කරමින් අවම බැඳුම්කර මිල ගණන්වල තොරතුරු ලබා දෙමින් තම බෑනා සහ හිතවතුන් අතර තොරතුරු ලබා දී ඇති බවත් රක්ෂිත භාරයේ පසුවන සැකකරුවන් ඒවාට අනුබල ලබා දී ඇති බවටත් විමර්ශනවලින් අනාවරණය වී ඇති බව මහේස්ත්‍රාත්වරිය කියා සිටියාය.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ නීතිඥ මඬුල්ල සිද්ධිය අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා 14 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට ගිය බවත්, ඒ සම්බන්ධයෙන් ඔවුන් අධිකරණය දැනුවත් නොකළ බවත් කියා සිටියේය.
අර්ජුන් ඇලෝසියස් මහතාගේ දියණිය වන නතාෂා මහේන්ද්‍රන් මහත්මිය තම පියා තොතිසිය සම්බන්ධයෙන් දැනුවත් බවට අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශය තහවුරු කර ඇති බවටත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ මඬුල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටියේය.