AD HERE

එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති ඇමැතිවරුන්ගේ අමාත්‍ය ධුර සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ අමාත්‍ය ධුර සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.
රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් අවශ්‍ය වෙනස්කම්ද ඉදිරියේදී සිදු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ යහපාලන ආණ්ඩුවේ දෙවැනි කැබිනට් සංශෝධනය ඊයේ (25දා) ජනාධිපති කාර්යාලයේදී සිදුකළ අවස්ථාවේදීය.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් ඉදිරියේදී ප්‍රතිසංවිධානයට ලක් කරමින් වඩාත් සුදුසු ආයතන යටතට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
පසුගිය පළාත් පාලන මැතිවරණයත් සමඟ ජනතාවගෙන් ලැබී තිබෙන පණිවුඩය අනුව අපි රජයේ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ, වෙනස්කම්, ගතයුතු නව අදහස් හා යෝජනා සමඟ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ඔබ අප කවුරුත් පිළිගන්නවා.
රටේ මහජනතාව විසින් දී ඇති තීරණය අනුව අප විසින් කරන ලද කාර්යයන්හි වැරැදි නිවැරැදි කර ගනිමින්, අඩුපාඩු සකස්කර ගනිමින් ප්‍රමාද දෝෂයන් නිවැරැදි කර ගනිමින් අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ වගේම රාජ්‍ය ප්‍රතිපත්තියේ හා ක්‍රියාකාරිත්වයේ වෙනස්කම්වල අවශ්‍යතාවත් පෙන්නුම් කරනවා. මැතිවරණයක ඇතිවන ප්‍රතිඵල මත අපේ රටේ පමණක් නොව වෙනත් රටවලත් ඒ රජයන් විසින් යම් යම් තීන්දු තීරණ ගන්නවා. මේ ප්‍රතිඵලය මුල් කරගනිමින් මෙය අධ්‍යයන කරමින් ජයග්‍රහණය සඳහා වන රජයේ වැඩපිළිවෙළ ජනතාව තුළ ආකර්ෂණය කරවීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව අපි ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු, ආයතන ආදියේ වෙනස්කම්, නව ව්‍යාපෘති තුළින් කරන ලද කාර්යයන් වඩා විධිමත් කිරීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා.
අපි රට වෙනුවෙන් කළ යුතු කැපවීම කළ යුතුයි. අපේ දේශපාලන ප්‍රතිපත්තියේ ප්‍රමුඛත්වය රට සහ ජනතාවයි. රටේ සහ ජනතාවගේ යහපත සඳහා අප විසින් ගන්නා වූ ක්‍රියාමාර්ග කඩිනමින් කාර්යක්ෂමව ඉටු කිරීමේ කාර්යය ඔබ අප සෑම කෙනෙක්ම පිළිගන්නවා. මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ කරුණු මොනවාදැයි සොයා එය නිවැරැදි කර ගැනීම අවශ්‍යයි. අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් අග්‍රාමාත්‍යතුමාගේ පාර්ශ්වයේ කටයුතු පමණයි සිදු කෙරෙන්නේ. ඉදිරි සති දෙකක් ඇතුළත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින පාර්ශ්වයේ සංශෝධන ස්ථිර වශයෙන් ඉටුකරනු ලබනවා. ඒ වගේම රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට අවශ්‍ය වෙනස්කම් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නිවැරැදි මඟ පෙන්වීම් වැදගත් වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණත් ගන්න බලාපොරොත්තු වෙනවා.
මම පසුගිය සතියේ අමාත්‍යාංශ ලේකම්වරු කැඳෙව්වා. එහිදී තම ආයතනයේ සියලුදෙනා සමඟ ඒ කටයුතු කාර්යක්ෂමව කරන ලෙසට මා උපදෙස් දුන්නා. මම ඔබෙනුත් ඉල්ලා සිටිනවා ඔබ නියෝජනය කරන අමාත්‍යාංශ, ආයතනවල ඉතාමත් ඉක්මනින් ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වලා වාර්ෂික මුදල් ප්‍රතිපාදනවලින් කළයුතු මහජන සේවාවන් කාර්යක්ෂම කිරීම කරන්න කියලා. ඔබ නියෝජනය කරන සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් සංවර්ධන කමිටු, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්කර මේ මාසය තුළ ඒ කටයුතු කඩිනම් කරන්න. එවිට තමයි ඒ ආයතනවල ක්‍රියාකාරිත්වය ඇති වෙන්නේ. ඒ තුළින් ඉලක්ක සහගත වැඩසටහන් සම්පූර්ණ කළ හැකියි.