AD HERE

NVQ ඇති අයට ඇපකරුවන් නොමැතිව ණය දෙන ලෙස ඉල්ලීමක්

ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම (NVQ) සහිත තරුණ ව්‍යවසායකයින් හට ඇපකර නොමැතිව ණය ලබා දීමට හැකිදැයි මහබැංකු අධිපතිගෙන් වාණිජ බැංකුවලට ඉල්ලීමක් කර ඇති බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කර ඇති බව නිවේදනය කරයි.
පසුගිය දා පැවැත්වුණුශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ප්‍රධාන විධායකයින් ගේ රැස්වීමේදී මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ඇප කොන්දේසි සපුරාගැනීමේ නොහැකියාව නිසා තම ව්‍යාපාරය ආරම්භ කිරීමට හෝ වැඩිදියුණු කිරීමට අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා ගත නොහැකිව දුෂ්කරතාවයෙන් පෙලෙන වෘත්තීය පුහුණුව ලත් තරුණ ව්‍යවසායකයින් පිළිබදව වානිජ බැංකු ප්‍රධාන විධායකයින් ගේ අවධානය යොමු කරන ලදී.
"ප්‍රමාණවත් ඇපයක් නොමැතිව ණයක් ලබාදීමේ අපහසුකම අපට වැටහෙනවා. මහා බැංකුවෙන් සියයට සියයක් ප්‍රති මුල්‍ය පහසුකම් සපයන, ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යපරිමාණ ව්‍යාපාර ඉලක්ක කර සැපයෙන ණය යෝජනා ක්‍රමවල පවා අවදානම ඇත්තේ සහභාගිත්ව ණය දෙන ආයතන මතයි. එසේ වුවත්මේ තරුණ ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සහ වැඩි දියුණු කිරීමට අතහිත දීමේ සාමුහික වගකීමක් බැංකු ක්ෂේත්‍රයේ සිටින අප හැමටම පැවරෙනවා. ඔවුන් රටේ මුල්‍ය අංශයට අන්තර්ග්‍රහණය කල යුතුයි. මේ අය අනාගතයේ ඔබේ ගනුදෙනුකරුවන්" මෙම රැස්වීම අමතමින් කුමාරස්වාමි මහතා ප්‍ර‍කාශ කළේය.
මේ අනුව ජාතික වෘත්තීයපුහුණු සුදුසුකම (NVQ ) සපුරන ලද තරුණ ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර සහ අනෙකුත් උපකරණ මිලදී ගැනීමට පහසුකම් සලසන කුඩා පරිමාණ ණය ඇප හෝ ඇපකරුවන් නොමැතිව ලබා දිය හැකි ක්‍ර‍ම පිළිබදව සොයා බලා ක්‍රියාත්මක කරන්නට සලකා බලන ලෙස මහබැංකු අධිපති ආචාර්ය කුමාරස්වාමි මහතා ඉල්ලා සිටියේය.
අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් සිදු කරන ලද සාකච්ඡාවකට අනුව මහ බැංකු අධිපතිතුමා විසින් එම ඉල්ලීම සිදුකර තිබුණු අතර එයට හේතු වී තිබුණේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මෑතක දී සිදුකරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵලයි. එම පර්යේෂණය මගින් හෙළි වී තිබුණේ ජාතික වෘත්තිය සුදුසුකම(NVQ) සහිත තරුණ ව්‍යවසායකයින් විශාල පිරිසක් මේ වන විට සේවා අංශය තුළ ව්‍යාපාර ආරම්භකර ඇති බවයි. ආර්ථිකයේ ප‍්‍රධාන ධාරාවක් ලෙස විද්‍යාඥයින් විසින් Gig Economy (ස්ථිර රැකියා වෙනුවට කෙටිකාලීන කොන්ත‍්‍රාත් සේවා සහ නිදහස් සේවාවල ව්‍යාප්තිය) ලෙස හදුන්වන මෙම සේවා අංශයේ ව්‍යාපාර වර්තමාන දියුණු රටවල පවා ඉතා පුලුල් ව්‍යාප්තියක් දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ මෙවැනි ව්‍යාපාර ලෙස කොණ්ඩා කැපීම, රූපලාවන්‍ය සේවා, මනාලියන් හැඩගැන්වීම, උත්සව අවස්ථා සංවිධායකයින්, කේටරින් සේවා, භාණ්ඩ හා සේවා බෙදාහැරීම ආදිය වඩාත් ප‍්‍රචලිතය. රජයෙන් කිසිදු සහනාධාරයක් හෝ බදු සහනාදිය නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තරම් මෙම යොවුන් ව්‍යවසායකයෝ නිර්භීත මෙන්ම ‍ධෛර්යවන්තයෝය. සාමාන්‍යයෙන් මෙවැනි කුඩා සහ ක්‍ෂුද්‍ර ව්‍යාපාර බිහි වී නොබෝ කළකින් වැසීයාමේ ප‍්‍රතිශතය ඉහල මට්ටමක තිබුණ ද තමන්ගේම ආරම්භයකින් තිර අධිෂ්ඨානයකින් සහ මනා නුවණකින් යුතුව පළමු තීරණාත්මක වසර කිහිපය තුළ නොනැසී පැවැතීමට ඔවුන්ට හැකිවී ඇත. වර්තමානය වන විට මෙම ව්‍යවසායකයින්ට අවශ්‍ය වී ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කිරීමට, ශක්තිමත් කිරීමට සහ ඊළග මට්ටමට සංවර්ධනය කිරීමට අවශ්‍ය මූලික ප‍්‍රාග්ධනයයි. මේ පිරිස ශ්‍රී ලංකාවේ අනාගත ව්‍යාපාරික ධනවතුන් ය. ඔවුන් අතරින් උපාලි විජේවර්ධන, හැරී ජයවර්ධන, කෙන් බාලේන්ද්‍ර, ධම්මික පෙරේරා, නවලෝක අධිපති, ඥානම්, එන්.එල් මුබාරක්, අමලීන්, ඕමාර් වැනි හෙට දවසේ නායකයන් කොතෙකුත් බිහිවිය හැකිය. ඔවුන්ට දැන් මූලික ප‍්‍රාග්ධනයක් ලබා ගැනීමට අවශ්‍ය වී ඇත. ඒ සදහා මූල්‍ය සේවා සපයන්නන් ඔවුන් පිළිබදව තම ප‍්‍රමුඛ අවධානය යොමු කළ යුතුමය.