AD HERE

කැබිතිගොල්ලෑවේ කුඹුරු අක්කර 3000 ක් විනාශයි ගොවීන්ට යන එන මං නැති වෙයි

කැබිතිගොල්ලෑව කුංචුට්ටුව කෝරලේ ප්‍රදේශයේ මෙවර මහ කන්නයේ ගොවිතැන් කරන ලද ගොවීන්ගේ කුඹුරු අක්කර 3,000 කට අධික ප්‍රමාණයක් ප්‍රමාණවත් ජලය හා පොහොර නොමැති වීමෙන් විනාශ වී ඇති බවට එම ගොවීහු පවසති.

වී අස්වැන්න විනාශ වී යාමත් සමග එලඹෙන අවුරුදු සමය හේතුවෙන් කිසිවක් කර කියා ගැනීමට නොහැකිව මෙම ගොවීහු දැඩි සේ අසරණව සිටින අතර එම ගොවීහු කියා සිටින්නේ විනාශ වී ගිය තමන්ගේ කුඹුරු වෙනුවෙන් ලබාදෙන රක්ෂණ මුදල එලඹෙන සිංහල අවුරුදු සමයට පෙර ලබා දීමට රජය පියවර ගත යුතු බවටයි.

විනාශ වී ගිය කුඹුරු වෙනුවෙන් රක්ෂණ මුදල් ලබා දෙන බවට ගොවි ජනසේවා නිලධාරීන් විසින් තොරතුරු රැගෙන ගියද මේ දක්වා ඒ පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති වීමෙන් කැබිතිගොල්ලෑවේ ගොවීහු අමතක කොට ඇති බවටද එම ගොවීහු කියා සිටිති.

මෙවර මහකන්නයේ ගොවීහු ගොවිතැන් කරන ලද කඹුරු වෙනුවෙන් ප්‍රමාණවත් ඇල වේලී පිලිසකර නොකිරීම ඇල වේලී විධිමත්ව නොතිබීම හේතුවෙන් ජලය විශාල වශයෙන් අපතේ යාම මෙන්ම නිසි කලට වර්ෂාව නොලැබීමෙන් ගොයම් විනාශ වී යාම එක් හේතුවක් වශයෙන් කුංචුට්ටුව කෝරලේ ගොවීහු පෙන්වා දෙති.

එමෙන්ම ගොවිතැන් වෙනුවෙන් ලබා දෙන පොහොර සහනාධාරය නිසි කාල සීමාවට නොලැබීම මත ගොයම් අස්වැන්න කාලය දීර්ඝ වූ බවටත් පොහොර මුදලට ගැනීමටවත් නොමැති වීමෙන් තවත් අක්කර දහස් ගණනක වී බොල් වී ඇති අතරම එක් අක්කරයකින් වී මිටි 10 ක්වත් ලබා ගැනීමට නොහැකි තරම් වී බොල් වී ඇති බවට ද එම ගොවීහු වැඩිදුරටත් කියා සිටිති.