AD HERE

ජනපති දැන් කළ යුතු හොඳම දේ කියවන්න

විශේෂ ලියුම්කරුවකු විසිනි.......

කිසිඳු සාමකාමි පුරවැසියකුට අනවශ්‍ය මොහොතක, කිසිඳු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට අනවශ්‍ය වේලාවක තමන් විසින් ඔක්තොම්බර් 26 දින මහින්ද රාජපක්ෂ හොර අගමැති ලෙස පත්කරමින් ඇති කළ ව්‍යවස්ථා අර්බුදයෙන් ගොඩයාමට ජනපති පල්ලේවත්ත ගමරාළ විශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය.

අනතුරුව ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියෝග කළ ගැසට් පත්‍රය බල රහිත කරවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12ක් ඉදිරිපත් විය. ඒ අනුව, අදාල ගැසට් පත්‍රය දෙසැම්බර් 07 දින දක්වා බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලදී. එය ජනපතිට හොඳ කනේ පහරකි.

අනතුරුව ජනාධිපතිවරයාගේ ම ගැසට් පත්‍රයක් අනුව යමින් නොවැම්බර් 14 දින කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැදවන ලදි. ඊනියා හොර අගමැතිට විරුද්ධව එදින මන්ත්‍රිවරුන් 122 දෙදෙනකු ඡන්දය හ මගින් ලබාදෙන ලදි.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉතා පුළුල්ව ගොඩනැගුණු පෙරමුණක් ජනපතිවරයාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ගමන් මඟ හෙලා දැක ඇත. ජාත්‍යන්තර ප්‍රජාව මුළු මනින්ම ජනපති හෝ අගමැති මහින්ද පිළිනොගන්නා තත්ත්වයකට පත්ව ඇත. එසේම, ජාත්‍යන්තර මුල්‍ය ආයතන ශ්‍රී ලංකාවට ලබාදීමට ගිවිසගෙන සිටි ණය මුදල් හා ආධාර මුදල් ලබා දීම වහාම අත්හිටුවා ඇතිවා පමණක් නොව අවශ්‍ය වුවහොත් ආර්ථික සම්බාධක පනවන බව සිරිසේන ජනපතිට සෘජුවම පවසා ඇත.

මෙවැනි පසුබිමක් තුළ ජනපති කටයුතු කළේ අර්බුදයට විසදුම් සොයනු වෙනුවට තව තවත් අර්බුදය දිග්ගැස්ස වීමට අවශ්‍ය පසුබිම හිතා මතාම පෙළ ගැස්සවීම බව අද මුළු ලොවක් දනී. දිගින් දිගටම මහින්ද ආණ්ඩුව පිළිගැනීම, මහින්ද පාර්ශවයට වැඩි මන්ත්‍රීන් පිරිසක් අයත් වන ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීම අනුමත කිරීම, නඩු විභාග පවතින දූෂිත නිලධාරීන් ආයතන වල ප්‍රධානීන් ලෙස පත් කිරීම, තමන්ගේ නොහැකියාව රාජ්‍ය නිලධාරීන් මත පැවරීම, කතානායකවරයාට දුන් පොරොන්දු කඩ කිරීම වැනි තුට්ටු දෙකේ වැඩ ජනපති කරන ලදි.

මේ සියළු සිදුවීම් අතර තුර අද (23) දින නැවත ඩිජිටල් ක්‍රමයට මන්ත්‍රිවරුන් 121 දෙනෙකු මහින්දට විරුද්ධව ඡන්දය භාවිත කර ඇත. ප්‍රතිඵලය කල් ඇතිව දැනගත් අගමැති මහින්ද ඇතුළු නඩය සභා ගර්භයෙන් පලා යන ලදී.  රටක් හිතුවේ අද දින ජනපති තීන්දුවක් ගනිවී කියාය.

නමුත් ජනපති ඒ වෙනුවට තම මාධ්‍ය අධ්‍යක්ෂවරයා ද පන්නා දමමින් ඊළගට කෙළින්ම ගියේ ජාතික මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය සංවිධානය කර තිබූ ජනාධිපති සම්මාන උත්සවය වෙතය. උත්සව සභාව අමතමින් තමා නොමැති පාර්ලිමේන්තුවේ තමාව විවේචනය කිරීම හෙළා දකින ලදී. 14 දින ගෞරවාන්විතව පාර්ලිමේන්තුවට ගොස්  රාජාසන කථාව කරමින් ජනාධිපතිවරයාට තමන්ගේ කථාව රට හමුවේ කියන්නට හොඳටම ඉඩ තිබුණි. 14 දින පාර්ලිමේන්තුවේ කළ යුතු කථාව අද උත්සවයේ කළේය.

තම දියණිය ලියන ලද ජනාධිපති තාත්තා පොතට අදත් ප්‍රචාරයක් ලබාදුනි. අදත් ඒ පොතේ ලියන ලද සියල්ලම ඇත්ත බව ජනපති පිළිගත්තේය. ඒ පොත තමන්ගේ දියණිය ලියා ඇත්තේ එදා ජනපති මහින්දගෙන් එල්ලවු පීඩනය පිළිබඳව බව ජනපති පල්ලේවත්ත ගමරාළ නැවත නැවතත් පිළිගනී. ජනපතිට පිස්සුද අපිට පිස්සුද කියා ඉබේටම කියවෙන්නේය. හේතුව ඒ පොත ලියන්නට පාදක වු පාදඩ මහින්ද යළි තාමගේ අගමැති කර ගැනිමයි.

රටට අපමන අගයක් එකතු කරන්නට ජනපති වු සිරිසේන මෙපමණ අර්බුද රටේ නිර්මාණය කර, විධායක බලතල ඇති ජනපතියකු ලෙස තම බලය නිවැරදිව භාවිත නොකර, 2019 ජනවාරි මාසයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කුඩුකේරුකම්, අත්තොනෝමතිකකම් ගැන පොතක් ලියා එය ජනගත කරන්නට සුදානම් වෙයි.

විධායක බලතල ඇති ජනාධිපතිවරයකු සිය බලය භාවිත නොකර, නිවැරදි තැන ජනතාවට කරුණු පැහැදිළි නොකර තම විරුද්ධවාදීයා ගැන පොතක් ලිවීම 21 සියවසේ ලොකුම විහිළුව වනු ඇත. ජනපතිට අනුව ඔක්තෝම්බර් 26 ගන්නා ලද තීරණයේ පසුබිම දැන ගැනීමට තවත් සති පහක් පමණ අප බලා සිටිය යුතුය. ඔබවන් නායකයකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස පත් කිරිමට ඡන්දය ලබාදුන් හැට දෙලක්ෂයක් වු ජනතාවට මඩු වළිගයෙන් එක් වතාවක් නොව සිය දහස් වතාවක් තැළිය යුතුය. ජනපතිතුමණි විහිළු සැපයුවා හොඳටම ඇති වියරු නොවි ගෙදර යන්න කියන්ඩ කලින් නික්ම යාම නම්බුකාරයි නේද.

ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් ගොඩනැගි පුළුල් පෙරමුණ ඔබ ජනපති ලෙස හිටියා හොඳටම ඇති යනුවෙන් කියන්නේ පහත හේතුව නිසාය. මෙය ජනපති මෙන්ම සියළු රටවැසියන් මනාව තේරුම් ගත යුතුය.

ජනපති කියන ලෙස මහා මැතිවරණයකට ගොස් නැවතත් එජාපය ජයග්‍රහනය කළහොත් එවිට ද රනිල් අගමැති ලෙස පිළිගැනීමට ජනපති සිරිසේන අකමැතිය. එවිට මැතිවරණයක් පැවැත්වීමේ අර්ථය කුමක්ද? මැතිවරණයක් පැවැත්වීමට රුපියල් කෝටි පහක් පමණ වැයවේ. ඊටත් වඩා ජනතාවගේ පක්ෂ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පමණක් නොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ජනපතිගේ සිතැගියාවට හකුළා දැමිය හැක.  

අපි මොහොතකට සිතමු රනිල් නැතුව වෙනත් අයකු අගමැති ලෙස තේරුනා කියලා මෛත්‍රිට ඒ පුද්ගයාද ඇල්ලුවේ නැති නම් ආයේමත් තමන්ට කැමති කෙනා අගමැති කරන්නේය.

කව්රු කොහොම කිව්වත් දෙසැම්බර් 07 වෙනිදා ලංකා ඉතිහාසයේ ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය සුදානම් වේ. ලබාදිය හැක්කේ තීන්දු දෙකකි. පළමු වැන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනපති ගත් තීන්දුව ව්‍යවස්ථානූකූලව නිවැරදි යන්නයි. දෙවැන්න වනුයේ ජනපති ගත් තීන්දුව වැරදියි යන්නයි.

තීන්දුව ජනපති නිවැරදියි ලෙස ප්‍රකාශ කළ හොත් එය ප්‍රජාත්නත්‍රවාදයට එල්ල වන මරු පහරකි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිකම්ම නිකං කොළ කැබැල්ලක් කරන්නකි. ජනපතිගේ බලය නැවත අසීමාන්තික කරන්නකි. ජනපතිට අවශ්‍ය ඕනෑම විටක පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට හැකිය යන්න සනාථ කිරිමකි. මැතිවරණයෙන් පාර්ලිමේන්තවට පත්වී වැඩිම මන්ත්‍රින් පිරිසකගේ විශ්වාසය ලබාගන්නා පුද්ගලයාට අග්‍රාමාත්‍යවරයා විමට ඇති ඉඩ අහුරා දමන්නකි. සරලව කිවහොත් ජනපතිට ඒකාධිපති බලතල රටේ නිතීය මගින්ම හණ ගසා දෙන්නකි. රට තුළ නොසිතන ආකාරයේ නොසන්සුන් පරිසරයක් ඇති කරවන කාරණයකි.

තීන්දුව ජනපති වැරදියි ලෙස ප්‍රකාශ කළ හොත් එය ප්‍රජාත්නත්‍රවාදය ආරක්ෂා කරන්නකි. පාර්ලිමේන්තුව උත්තරිතර කරන්නකි. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වන තත්ත්වයකි. වර්තමාන පාර්ලිමේන්තුවට තවත් වසර එක හමාරක් සිය ජනතා සේවය කරන්නට ඉඩ හැරිමකි. ජනපතිට අත්තනෝමතික විමට ඇති ඉඩ ඇහිරීමකි. ඒකාධිපති පාලන වියරුවට තිත තැබිමකි.

නමුත් ජනපති වැරදියි ලෙස තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් පමණින්ම රට ස්ථාවර වන්නේද නැත. ඒ තීරණය තුළ මැතිවරණයකට නොයා සිටිය හැක. නමුත් ජනපති පත් කළ අගමැති මහින්ද එයින් ඉවත් නොවේ. මහින්ද පාර්ලිමේන්තු බහුතරය පිළිගන්නේ නැත. කිසිදු පනතක් මහින්දට සම්මත කර ගැනිමට නොහැකි වනු ඇත. එවිට පවතින ආරාජිකත්වය තවදුරටත් ඉදිරයට යනු ඇත. මුදල් නොමැතිව රටක් පාලනය කළ නොහැකි බව අගමැති ජනපති දෙදෙනාම නොදන්නවා නොවේ.

මේ රට සිරිසේන රැගෙන යන්නට උත්සහ කරන මාවත දැන් පැහැදිළිය. ඒ අස්ථාවර, අරාජික හා ඒකාධිපති පාලනයක් වෙතය. එවැනි පාලනයකට ඉතාම සුදුස්සා මහින්ද රාජපක්ෂ බව මෛත්‍රි දනී. 26 වෙනිදා මෛත්‍රි මහින්ද ගෙනාවේ ඒ අරමුණ ජය ගැනීම සඳහාය. නමුත් මෛත්‍රිගේ මුළු සිතියම ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසුනු පුළුල් පෙරමුණ හා ජාත්‍යන්තර ප්‍රජාව විසින් හකුලා දැම්මේය.

අද (23) දින මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ උත්සවයට ගොස් ජනපති කළේ ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීමේ කථාවකි. ජනපතිවරයකු කිසිසේත් ජනතාවගේ අනුකම්පාව ඉල්ලා සිටිය යුතු නොවේ. රට පාලනය කිරීමට අවශ්‍ය සියළු බලතල විධායකය සතුය. නමුත් අත්තනෝමතික විමට නොහැක. මහින්දගේ ඒකාධිපති වියරුව හමාර කිරිමට පැමිණි සිරිසේන මහින්දටත් වඩා ඒකාධිපති විය යුතු නැත.

ජනපතිතුමණි විහිළු ඇති අද වන විට රාජපක්ෂ රෙජිමයට විරුද්ධ මහපොළොව නුසුලන නඩු ගණනාවක් විභාග වෙමින් පවති. විධායකය ඔබයි. රනිල්ට බැනවැදිමෙන් පළක් නොවේ. ඔබ පලමුව මහින්ද නඩයේ නඩු ටික කඩිනමින් නිමා කොට දඩුවම් ලබා දෙන්න. විධායකය ලෙස එය වසර තුනහමාරක් ඔබ පැහැර හරින ලදී. අද නැවත හොරුන් ආයතන පුධානීන් ලෙස ඔබම පත් කරයි. ඔබ 2015 ජනවාරි 08ට පෙර බොරු කිවාද? අද බොරු කියනවාද? එය ජනතාවට ප්‍රශ්නයක්... ඔබට විහිළුවක්...

මහින්දට මේ මොහොතේ කළ හැකි හොඳම දේ නම් අගමැතිකමෙන් ඉල්ලා අස්වීමය. එසේ කරන්නටත් බැරිය තම පවුලේ අයට හා හිතෛසීන්ට විරුද්ධව නඩු විශාල ප්‍රමාණයකි. රට ගැන අල්පමාත්‍රයක හෝ කැක්කුමක් ඇත්නම් දැන් මහින්ද ඉවත් විය යුතුමය. අනෙක් අතට මහින්ද ආපසු හැරෙන්නට වටේ සිටින ගෝල බාලයින් ඉඩ දෙන්නේද නැත. එවැනි පසුබිමක මහින්ද ද කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

මෛත්‍රි මේ මොහොතේ කළ යුත්තේ පොත් ලියා අච්චු ගැසීම නොව ඉතා දිගු කාලයක් තිස්සේ ලියා නිතීවිශාරදයින් තර්ක කර  අච්චුගසා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මැනවින් කියවා එය තමන්ට එක එල්ලේ අවබෝධ කර ගැනීමට තරම් ශක්තියක් නොමැති නම්, රට ගැන හිතන නිතීවේදින් ලවා තේරුම් කරවාගෙන ඒ අනුව රට ස්ථාවර කිරීමට කටයුතු කිරීම හෝ වහාම ජනපතිවරණයක් පවත්වා ඒ අනුව තම ඉදිරි දේශපාලන ගමන්මඟ සොයා ගැනිමයි.