AD HERE

පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ඉවත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා නෙවෙයි-දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් නොවන  දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
එය පොලිස්පතිවරයා විසින් සිදුකළ කටයුත්තක් බව කී ඒ මහතා පසුව පොලිස් කොමිසම විසින් එම තීරණය අවලංගු කළ බව සඳහන් කළේය.
 
ඇතැම් මාධ්‍ය එය ජනාධිපතිවරයා විසින් සිදුකළ එකක් බව දක්වමින් ජනාධිපතිවරයා ඊට ඈඳා ගැනීමට උත්සාහ කිරීම දැඩි සේ හෙළා දකින බව ද ජයසේකර මහතා කීවේය.
 
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22)  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
 
පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව බවට පොලිස්පතිවරයා නිකුත් කර තිබූ ලිපියක් සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් ඇමතිවරයාගෙන් ප‍්‍රශ්න කළ අතර එහිදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එය අසත්‍යයක් බවයි.
 
එසේ නම් ඒ සම්බන්ධව පොලිස්පතිවරයාට එරෙහි ක‍්‍රියාමාර්ගයක් ගන්නේද යන්න ගැන මාධ්‍යවේදීන්   ප‍්‍රශ්න කළ අතර ජයසේකර මහතා කීවේ එය ව්‍යවස්ථා සභාව මගින් ගත යුතු තීරණයක් බවත්, ඒ ගැන හදිසි නොවිය යුතු බවත්ය.