AD HERE

ලැජ්ජාව ගෑවී හෝ ඇත්නම් ඊනියා අගමැතිවරයා අදම ඉල්ලා අස්විය යුතු බව

ලැජ්ජාව ගෑවී හෝ ඇත්නම් අගමැතිවරයා අදම ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
අද(23) දිනයේ දීත් මහින්ද රාජපක්ෂට බහුතරය නොමැති බව ඔප්පු වු බව ද මන්ත්‍රීවරයා කියා 
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතර නියෝජනය තීරණය කිරීම සඳහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී තේරීම් කාරක සභාව පත්කිරීමට කළ යෝජනාවට පක්ෂව ඡන්ද 121 ලැබීම සම්බන්ධයෙන් මුහුණු පොතේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පවසා තිබේ.
මෙහිදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නමින් ඡන්දය ප්‍රකාශ කළ අතර චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ප්‍රමාද වී පැමිණීම නිසා ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි නොවුණ බව ද එහි සටහන් වෙයි.
තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති බව හොඳින්ම දන්නා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම ඡන්දය නොදී අද දින පලා ගිය මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසන විට ඔවුන්ට මේ වනවිට කළ හැක්කේ පුටුවලින්, මිරිස් කුඩුවලින් පහර දී එම ඡන්දය වලක්වා ගැනීමට කටයුතු කිරීම හෝ පලායාම පමණක් වන අතර, තවදුරටත් ජනතාව මුලා නොකර තමන්ට බහුතර බලය තිබෙනවා නම් ඔවුන් කළ යුතුව තිබුණේ අද ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත් කිරීම බව ද එහි සඳහන්ව තිබේ.
කථානායකතුමාගේ ක්‍රියා කලාපය වැරදි යැයි ඔවුන්ට හැඟී යන්නේ නම් තමන්ට බහුතර බලයක් ඇත්නම් පුරසාරම් නොඩවා වෙනත් කථානායකවරයෙක් පත් කර ගැනීමට කටයුතු කරන ලෙස ද එහි සටහන් වෙයි.
පාර්ලිමේන්තුවේ යෝජනාවකට මුහුණ දීමට තරම්වත් ශක්තියක් නොමැති මෙම හොර ආණ්ඩුව දිනෙන් දිනම රට අගාධයට රැගෙන යමින් පවතින බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.